ලංකාවේ ඉඩම් ඔප්පු වර්ග
ඔබ දන්නවාද? ලංකාවේ ඉඩම් නඩු වලින් 60%ක්ම වැටෙන්න ප්රධාන හේතුව මිනිස්සුන්ට “ඔප්පු වර්ග” ගැන හරි අවබෝධයක් නැති කම. 
ගොඩක් අය හිතන්නේ “ඔප්පුවක් තියෙනවා නම් ඉඩම මගේ” කියලා. ඒක තමයි ලොකුම වැරැද්ද! සමහර ඔප්පු උගස් තියන්න බෑ, සමහර ඒවා විකුණන්න බෑ, තවත් සමහර ඒවා රජයට ඕන වෙලාවක ආපහු ගන්න පුළුවන්.
ලක්ෂ ගණන් වටිනා ඔබේ මුදල් ආරක්ෂා කරගන්න නම්, අඩුම තරමේ මේ “ඔප්පු වර්ග 07” ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න. 
සින්නක්කර ඔප්පු (Freehold Deeds) – රජවරු වගේ! 
මේක තමයි ලංකාවේ තියෙන වටිනාම සහ බලසම්පන්නම අයිතිය.
විශේෂත්වය: ඔබට කැමති කෙනෙක්ට විකුණන්න, තෑගි දෙන්න, ඕනෑම බැංකුවක උගස් තියන්න පුළුවන්. කිසිම රජයේ බාධාවක් නෑ.
හඳුනාගන්නේ කොහොමද?: පෙර ඔප්පු ඉතිහාසයක් (Pedigree) වසර 30-40ක් පුරාවට නිරවුල්ව පවතිනවා නම් එය සුපිරි සින්නක්කර ඉඩමක්.
තෑගි ඔප්පු (Gift Deeds / Donated Deeds) 
දෙමාපියන් දරුවන්ට හෝ ලේ ඥාතීන් අතර හුවමාරු වන ඉඩම්.
පරෙස්සම් විය යුතු තැන: මෙහි “ප්රාණ භුක්තිය” (Life Interest) තබා ඇත්දැයි බලන්න.
ප්රාණ භුක්තිය තිබේ නම්: දීමනාකරු (දෙමාපියන්) මිය යනතුරු හෝ ඔවුන් එය ඉවත් කරන තුරු ඔබට එම ඉඩම විකිණීමට හෝ උගස් කිරීමට නොහැක. සම්පූර්ණ අයිතිය ලැබෙන්නේ ඔවුන්ගේ අභාවයෙන් පසුවයි.
රජයේ දීමනා ඔප්පු (Grants – ස්වර්ණභූමි / ජයභූමි / රත්නභූමි) 
මෙතන තමයි ගොඩක් අය පැටලෙන්නේ! මේවා රජයෙන් ජනතාවට ලබා දුන් ඉඩම්.
නීතිය: මේවා “සින්නක්කර” වගේ පෙනුනට, සින්නක්කර නෙවෙයි.
සීමා: මේවා ඕනෑම කෙනෙක්ට විකුණන්න බෑ (ප්රාදේශීය ලේකම් අවසරය ඕන). සාමාන්ය වාණිජ බැංකු වල උගස් තියන්න බෑ (රාජ්ය බැංකු වල විශේෂ ණය ක්රම සඳහා පමණක් පුළුවන්).
පරිස්සම් වන්න: ඉඩමක් ගන්න කලින් ඒක මුලින් රජයේ දීමනාවක්ද කියලා පත්තිරු බලලා තහවුරු කරගන්න.
බෙදුම් ඔප්පු (Partition Deeds) 
කලින් පොදු ඉඩමක්ව තිබී, පසුව උසාවිය මගින් හෝ සමගියෙන් කොටස් වලට බෙදා වෙන් කරගත් ඉඩම්.
වාසිය: උසාවියකින් බෙදා වෙන් කළ (Court Partition) ඔප්පුවක් කියන්නේ ඉතාම පිරිසිදු “Title” එකක් (Lanka Title). මේවා බැංකු ණය සඳහා ඉතා සුදුසුයි.
බලපත්ර ඉඩම් (Permits) – අන්තරායයි! 
මේක ඔප්පුවක් නෙවෙයි. රජයේ ඉඩමක තාවකාලිකව පදිංචි වෙන්න දෙන අවසරයක් විතරයි.
රැවටෙන්න එපා: සමහර බ්රෝකර්වරු “ෆයිල් අතට දෙනවා” කියලා මේවා විකුණනවා. නමුත් නීතියෙන් බලපත්ර ඉඩම් විකිණීම තහනම්. රජයට ඕනෑම වෙලාවක මේවා ආපහු ගන්න පුළුවන්. සල්ලි දීලා අමාරුවේ වැටෙන්න එපා!
බිම් සවියා ඔප්පු (Bim Saviya / Title Certificate) 
මෙය අනාගතයේ ලංකාවේ භාවිතා වන ඩිජිටල් ක්රමවේදයයි. මෙහි පත්තිරු බල බලා ඉන්න ඕන නෑ. කෙලින්ම ලැබෙන්නේ සහතිකයක්.
පංති 02ක් ඇත:
පළමු පන්තිය (First Class): ඉතාම පිරිසිදු, කිසිම ගැටලුවක් නැති අයිතිය.
දෙවන පන්තිය (Second Class): යම් යම් ගැටළු හෝ නිරාකරණය කරගත යුතු දේවල් තිබෙන ඉඩම්.
පූජා ඔප්පු (Declaration of Trust / Pooja Oppu) 
පන්සලකට හෝ ආගමික ස්ථානයකට පූජා කළ ඉඩම්. මේවා නැවත විකුණන්න හෝ මිලදී ගන්න බැහැ. ඒවා අයිති සංඝාසතුවට හෝ අදාළ ආගමික භාරකාරත්වයටයි.
උපදෙස:
ඉඩමක් ගන්න කලින් පිටකවරේ ලස්සන බලන්න එපා. අනිවාර්යයෙන්ම දක්ෂ නීතිඥයෙක් ලවා ඔප්පුවේ අතීතය (History) පරීක්ෂා කරගන්න.
”ලක්ෂ ගාණක් ඉතිරි කරගන්න, රුපියල් දාහක් දීලා පත්තිරු බලන්න!”


